Thursday, October 28, 2010


මදුරුවන් බෝවීම වැළැක්‌වීමට සරල උපකරණයක්‌
මෝදර ශාන්ත අන්තෝනි විදුහලේ බාලිකාවෝ පිරිසක්‌ නිර්මාණය කරති

අමිල අබේරත්න


පිරිසිදු ජලයේ මදුරුවන් බෝවීම වැළැක්‌වීම සඳහා සරල උපකරණයක්‌ සැකසීමට මෝදර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ බාලිකාවන් පිරිසක්‌ සමත්ව ඇත.

කිසිදු වියදමකින් තොරව ඉතා පහසුවෙන් සකස්‌කර ගත හැකි මෙම උපකරණය එම විද්‍යාලයේ සිසුවියන් විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ අද (28 දා) ඇරඹෙන එම විද්‍යාලයේ ප්‍රදර්ශනයක්‌ වෙනුවෙනි.

ඉවතලන ප්ලාස්‌ටික්‌ බෝතලයක්‌ පමණක්‌ මෙම උපකරණය සැකසීමට අවශ්‍ය වන අතර එම බෝතලයේ 1/3 ක ප්‍රමාණයක්‌ උඩ කොටසින් කපා ඉවත් කළ ගත යුතුය. පසුව බෝතලයේ යට කොටසට පිරිසිදු ජලය පුරවාගෙන උඩ කොටසේ මූඩිය මදුරු කීටයකුට පමණක්‌ ඇතුළු විය හැකි ප්‍රමාණයේ සිහින් සිදුරු කිහිපයක්‌ සකස්‌ කර (මේ සඳහා අඟල් 1/2 ප්‍රමාණයේ යකඩ ඇණයක්‌ භාවිතා කළ හැක.) මූඩිය වසා ඡායාරූපයේ දැක්‌වෙන පරිදි මූඩිය සහිත කොටස යටට සිටින සේ ජලය පිර වූ බෝතලයේ පහළ කොටසට ඇතුළු කළ යුතුය. එවිට බෝතලය මතුපිට හොඳින් සම්බන්ධ වී තිබිය යුතුය. දැන් නැවතත් බෝතලයේ උඩ කොටසට ජලය පිරවිය යුතුය.

මෙසේ සකස්‌ කර ගත් උපකරණ කිහිපයක්‌ ගෙවත්තේ තැන් කිහිපයක තැබූ විට පිරිසිදු වූ ජලයේ බිත්තර දමන මදුරුවන් (ඩෙංගු, මැලේරියා, බරවා වැනි) ඒ තුළ බිත්තර දමනු ලබයි. එසේ දමන බිත්තර සති දෙකක්‌ තුළ මදුරු කීටයන් බවට පත් වන අතර ඔවුන් පිරිසිදු වතුරට වැඩි ප්‍රියතාවක්‌ දක්‌වන නිසා බෝතලේ මූඩියේ සිදුරු තුළින් බෝතලයේ පහළ කොටසට ගමන් කරයි. එසේ ගමන් කරනු ලබන මදුරු කීටයන් වර්ධනය වී මදුරුවන් බවට පත්වීමෙන් පසු ඔවුන්ට නැවත පිටතට පැමිණිය නොහැකි වී මාසයකට නොඅඩු කාලයක්‌ තුළ ඒ තුළම විනාශ වේ. මෙසේ දමන මදුරු කීටයන් යම් හෙයකින් පහතට ගමන් නොකළ හොත් ඔවුන් විනාශ කිරීම සඳහා බෝතලයේ උඩ කොටසට ගප්පි වර්ගයේ සුරතල් මත්‍යයකු දැමීම වඩාත් සාර්ථකය.

මෙම නිර්මාණය සිය පාසල තුළ මාස දෙකක කාලයක්‌ අත්හදා බැලූ බවත් එය ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දුන් බවත් මෙම නිර්මාණය සිදු කළ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ හර්ෂනී ලක්‍ෂිකා, හිරුණි රොෂානි, සංජීවි ඉෂාර, පසුදිනී නිමේෂා, ෆාතිමා ඉර්ෂාදා, ඈන් කෞෂල්‍යා යන ශිෂ්‍යාවන් පවසයි.

මෙම ක්‍රියාවලිය ප්‍රථමයෙන් පාසල් පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක කර පසුව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාර්ගයෙන් සිය නිවෙස්‌වල ගෙවත්තේද සිදු කර ගත හැකි වුවහොත් මේ දින වල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු හා අනෙකුත් මදුරුවන්ගෙන් බෝවන රෝග අවම කර ගත හැකි වන බව එම ශිෂ්‍යාවෝ පවසති.

මෙම නිර්මාණය තුළින් සිය පාසල් ශිෂ්‍යාවන් විශාල ආදර්ශයක්‌ සපයා ඇති බවත්. මෙම වැඩපිළිවෙළ රටපුරා ව්‍යාප්ත කරගත හැකි වුව හොත් ඩෙංගු උවදුරෙන් මීදිමට හැකිවන බවත් ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විද්‍යා අංශයේ අශෝක පෙරේරා ගුරුතුමා පවසයි. එම විද්‍යාලයේ විදුහල්පතිනී වජිරා අබේසිංහ කන්‍යා සොයුරියගේ මග පෙන්වීම යටතේ විද්‍යාලයීය ශිෂ්‍යාවන්ගේ නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනය අද (28 දා) හා හෙට (29 දා) විද්‍යාලයේදී පැවැත්වේ. එහිදී මෙම උපකරණය හා එහි ක්‍රියාකාරීත්වය දැක බලා ගත හැක.